Browsing all articles tagged with Sinhala

Lying බොරු කීම

Posted Posted by Gishan Chaturanga in Other     Comments No comments
Apr
9

බොරු කීම

සියළුම දෑ හේතුවක් නිසා හටගන්නා ලෝකය තුළ සැප යනු කුමක්ද, එය හටගන්නේ කෙසේද, පවතින්නේ කෙසේද, නැති වන්නේ කෙසේද යන වග තිම්බරුක සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ පැහැදිලිවම දේශනාකොට වදාළ සේක. උග්‍ර මානසික රෝගියකු හැරෙන්නට සැපට අකමැති කිසිවකුත් සිටිය නොහැක. නමුත් බොහෝ දෙනා සැප ලබන වැඩ පිළිවෙල පිළිබඳ නොදනිති. ‘සැපය’ ට හේතුව ‘පින’ බව දන්නේ බෞද්ධයන්ගෙන් ද අති සුළුතරයකි. එහෙයින් අප නොයෙක් ආකාරයේ අකුසල කර්මයන් ඔස්සේ ජීවිතයේ ලාමක සැප සෙවීමට උත්සුක වෙති. කුමන හෝ අයුරකින් සැපය, සතුට, සිනහව සොයති.

පින් රැස්වෙන කුසල කර්ම කිරීමෙන් ‘සැප’ ලැබෙන බව ද, පව් රැස්වෙන අකුසල කර්ම කිරීමෙන් ‘දුක්’ ලැබෙන බව ද බුද්ධ වචනය පුරාවට පුන පුනා සඳහන් ය. අසංවර තුන් දොරක් සහිතව වචනය කෙලෙසා ගැනීමෙන් අත් විඳින්නට සිදුවන මහා භයානක විපාක අප අනන්තවත් අසා ඇත්තෙමු. දැක ඇත්තෙමු. ගෞතම බුද්ධ කාලීනව විසූ රන්වන් පැහැයෙන් සිරුර බබලන නමුත් නිරතුරුව කටින් දුගඳ හමමින් පණුවන් වැගිරෙන ප්‍රේතයකු ගැන අප අසා ඇත්තෙමු. ඒ කාෂ්‍යප බුදුසසුනේ පැවිද්දෙකි. ඔහු මියගොස් නිරයගාමී විය. අනතුරුව පෙර සිල් රැකි පිනෙන් ගත රන්වන් පැහැයෙන් බැබළුන නමුදු කට වරද්දා ගැනීම නිසා ප්‍රේතයකු වී ඉපිද පණුවන් වැගිරෙන මුඛයකින් යුක්ත විය. වචනය අසංවර වන ආකාර ප්‍රධාන වශයෙන් හතරකි. එනම් බොරු කීම, කේළාම් කීම, පරුෂ වචන කීම සහ හිස් වචන කීමය. බොරුකීම කිසිදු විටෙක කිසිදු හේතුවක් නිසා නොකළ යුත්තකි. මිනිසුන් රවටා විහිළුවකටවත් නොකිය යුතු දෙයකි බොරුව. මව වෙනුවෙන්, පියා වෙනුවෙන්, සහෝදරයා සහෝදරිය වෙනුවෙන් යැයි කියා ඇතමෙකු බොරුව සාධරණීකරණය සඳහා යත්න දරති. තමුන් කළ දේ තමුන් රැගෙන යයි. බොරුව කීවේ තමුන් නම් විපාක විඳින්නට ඔබගේ මව නොපැමිණෙනු ඇත. ලෝක න්‍යාය එයයි.